Read in English

Oceanswell හි ඉසුරු විජේසුන්දර විසිනි

ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ සුවිසල් වූ ආර්ථික සහ සමාජමය වැදගත්කමක් උසුලන ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිය. එමගින් 580,000 අධික ඍජු සහ වක්‍ර ජීවනෝපායන් මෙන්ම ජනතාවගේ බහුතර ප්‍රෝටීන අවශ්‍යතාවයද සපයනු ලබයි. එබැවින්, තිරසාර සහ දිගුකාලීන පරිභෝජනය සහතික වන පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති මගින් ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ නමුත්, සීමිත සහ ප්‍රමාණවත් නොවන දත්ත මත පදනම්ව බලාත්මක කරනු ලබන ප්‍රතිපත්ති, එම කර්මාන්තයේ නියුතු ධීවර ජනතාව සහ යැපෙන්නන් කෙරෙහි වන බලපෑම නිර්ණය කිරීමට අසමත් වන අතර අවසානයේදී එවැනි ප්‍රතිපත්ති නිරර්ථක උත්සාහයන් බවට පත්වේ.

අධික පරිභෝජනය හේතුවෙන් සිදුවන මත්ස්‍ය ගහණයේ වදවීම සලකමින් 2012 වසරේදී ශ්‍රී ලංකාව විසින් කස මෝරුන් ඇල්ලීමේ හා ගොඩබෑමේ තහනම හදුවන්වාදෙන ලදී. එයට ප්‍රස්තුත ලෙස, International Union for Conservation of Nature (IUCN) හි රතු-දත්ත වාර්ථාවෙහි සදහන් පරිදි, අවශේෂ කස මෝරුන් විශේෂ ත්‍රිත්වය වන Alopias vulpinus (common thresher) හා Alopias superciliosus (big eye thresher) වදවීමේ අවදානමට ලක්විය හැකි (vulnerable) ලෙසත්, Alopias pelagicus (pelagic thresher) වදවීමේ තර්ජනයට ලක්වූ (endangered) ලෙසත් වර්ගීකරණය කිරීම සැලකිය හැකිය. තවද, මෙම විශේෂ තුනම Convention on Trade of Endangered Species of wild Flora and Fauna (CITES) හි උපග්‍රන්ථ II යටතේ වර්ගීකරණය කිරීම මෙම මත්ස්‍ය විශේෂ සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම්කරයි.

2012 වසරේදී බලාත්මක කළ කස මෝරුන් ගොඩබෑමේ තහනම පිළිබදව ධීවර ප්‍රජාවගේ මතය අවබෝධ කරගැනීම. 1

එංගලන්තයේ එක්සට විශ්වවිද්‍යාලය (University of Exeter), ලන්ඩන් සත්ත්වවිද්‍යා සංගමය (Zoological Society of London – ZSL) සහ Oceanswell යන ආයතනය සහයෝගීව සිදුකරනු ලැබූ ව්‍යාපෘතියක පර්‍යේෂණ සහකාර (Research Assistant) ලෙස, තහනමට පෙර නීත්‍යානුකූලව කස මෝරුන් සදහා වූ  ධීවර කර්මාන්තයේ නියුතු වූ ධීවර ප්‍රජාවන් සමග 2019 වසරේ සහ 2020 වසරේ වැඩි කාලයක් ගත කිරීමට මා හට අවස්ථාව ලැබුණි. මෝරුන් සම්බන්ධ සමාජ-ආර්ථික සැපයුම්දාම පිළිබද පර්‍යේෂණ සිදුකිරීමේදී, පවත්නා තහනම නොතකා ඇතැම්විට ධීවරයින් කස මෝරුන් ගොඩබෑම සිදුකරන බව අපට නිරීක්ෂණය විය. එසේම, ධීවරයින් සමග මෙම කරුණ විමසීමේදී, බොහෝ දෙනෙකුගේ මතය වූයේ තහනම හේතුවෙන් මුහුණදීමට සිදුවූ නොයෙකුත් දුෂ්කරතාවයන් හේතුවෙන් ඔවුන් මෙම තහනමට එකග නොවන බවයි. ධීවරයින්ගේ මෙම ආකල්පය, බලාත්මක කිරීම මගින් අපේක්ෂා කල ප්‍රථිඵල අත්කර ගැනීමට තරම් තහනම සාර්ථක වී ඇත්දැයි යන්න ප්‍රශ්න කිරීමට අපට මග පෑදීය. මෙය මෙවැනි වූ පර්‍යේෂණයක් විස්තරාත්මකව සිදුකරනු ලැබූ ප්‍රථම අවස්ථාවයි.

තහනම කෙරෙහි ධීවරයින්ගේ අනුකූලතාවයට (compliance) සහ සහයෝගීතාවයට (support) අදාල පෙළඹවීමේ හා වැලැක්වීමේ සාධක අධ්‍යයනය කිරීම සදහා අප විසින් නාභිගත කණ්ඩායම් සාකච්ඡා (Focus Group Discussions) ඔස්සේ දත්ත ලබාගැනීම සිදුකරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු වෙරළතීරයන්හි ධීවර කර්මාන්තයෙහි නියුතු එකිනෙකට වෙනස් වූ ධීවර ප්‍රජාවන් දෙකක් සැලකිල්ලට භාජනය කෙරුණි. මෙම කණ්ඩායම් දෙක නම්; බහුදින ධීවර යාත්‍රාවන්හි (IMUL) නියුතු ධීවර ප්‍රජාව සහ ෆයිබර් යාත්‍රා (OFRP) උපයෝගී කරගනිමින් කර්මාන්තයේ නියුතු ධීවරයින්ය. මෙම දෙවර්ගය තම ධීවර කටයුතු සිදුකිරීම සදහා යොදාගන්නා යාත්‍රා වර්ගය, ඉලක්කගත මත්ස්‍ය වර්ගය සහ මසුන් ඇල්ලීමට ගත කරන කාලය අනුව එකිනෙකට වෙනස් වේ. IMUL යනු විශාල හා මධ්‍යම ප්‍රමාණයේ යාත්‍රා වන අතර ඒවා සාමාන්‍යයෙන් ටූනා (Tuna) සහ බිල්ෆිෂ් (Billfish) වැනි විශාල මසුන් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශවල දිගු චාරිකා (මාස 2) ලෙස මසුන් ඇල්ලීම සිදුකරයි. ඔවුන් තහනමට පෙර කස මෝරුන් ඇල්ලීම සිදුකරනු ලැබූ නමුත් එය බොහෝ දුරට ඉලක්කගතව නොකරන ලදී. එසේම, OFRP යනු කුඩා යාත්‍රා වන අතර, ඒවා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයෙහි කස මෝරුන් සදහා වසරේ දෙසැම්බර්-අප්‍රේල් කාලය තුලදී ඉලක්කගත ධීවර කර්මාන්තයක් මෙහෙයවන ලද අතර ඔවුන්ගේ සම්පූර්ණ ආදායම (100%) කස මෝරුන් මත රදා පැවතුනි. කස මෝර කර්මාන්තය සම්බන්ධ මෙම  ඉතිහාසගත වෙනස්කම් සලකා බලමින් අප මෙම කණ්ඩායම් දෙක තෝරගත් අතර එමගින් තහනම මගින් ඇති කරනු ලැබූ පුළුල් පරාසයක මානව බලපෑම් පිළිබදව මනා අවබෝධයක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කලෙමු. ධීවර වරායන් සහ ධීවර ගම්මානවලට ගොස් අප සාකච්ඡා සදහා පිරිස් සහභාගී කරගත් අතර ඔවුන්ගේ අවසරය මත එම සාකච්ඡාවන් අප විසින් පටිගත කරන ලදී. නාභිගත කණ්ඩායම් සාකච්ඡා සිදු කිරීම අපහට අභියෝගයක් වූ අතර, විශේෂයෙන් IMUL ධීවරයින් සමග සිදුකිරීම ඉතා අසීරුවිය. මෙවැනි ප්‍රතික්ෂේපවීම් වලට හේතුවුනු ප්‍රධානතම සාධකය වූයේ පර්‍යේෂකයන් විසින් ඔවුන්ගේ ජීවනෝපායන්ට අහිතකර ලෙස බලපෑම් ඇතිකරනු ඇතැයි යන දැඩි මතයක සිටීමය. කෙසේ නමුත්, OFRP ධීවරයින් සාකච්ඡා සදහා ඉමහත් උනන්දුවක් දැක්වූ අතර, ඔවුන්ගේ මතය වූයේ අප සමග කතා කිරීම තුලින් ඔවුන්ගේ ධීවර අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගීමට හැකිවනු ඇති බවයි.

2012 වසරේදී බලාත්මක කළ කස මෝරුන් ගොඩබෑමේ තහනම පිළිබදව ධීවර ප්‍රජාවගේ මතය අවබෝධ කරගැනීම. 2

ඉලක්කගත ධීවර කටයුතු නැවැත්වීම සදහා කස මෝර තහනම ඵලදායී වූ නමුත් එහි ප්‍රථිඵලයක් ලෙස දැඩි සමාජ-ආර්ථික ප්‍රතිවිපාක විදීමට ධීවරයින්ට සිදුවූ බව මෙම පර්‍යේෂණය මගින් සොයා ගන්නා ලදී. ධීවර කර්මාන්තයෙන් ලැබෙන ලාභය අඩුවීම,  ජීවනෝපායන් අහිමිවීම, උපකරණ සදහා යෙදූ අයෝජන අහිමිවීම සහ ධීවර කළමනාකරණය කෙරෙහි ඇති විශ්වාසය අඩුවීම මෙම ප්‍රතිවිපාකයන්ට ඇතුලත් ය. IMUL ධීවරයින්ට සාපේක්ෂව වසරේ කෙටි කාලසීමාවක ඉලක්කගත කර්මාන්තයක් ලෙස කස මෝරුන් ඇල්ලීම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ OFRP ධීවරයින්ට මෙම බලපෑම වඩාත් දරුණුවිය. එසේ වෙතත් IMUL ධීවරයින්ටද ඉලක්ක නොකල නමුත් අහම්බෙන් හෝ හසුවන කස මෝරකු අල්ලා ගැනීමෙන් ලැබෙන වටිනා අදායම් මාර්ගයක් අහිමි විය. එයට සාක්ෂි වශයෙන් සමහර අවස්ථාවන්හිදී IMUL ධීවරයින් විසින් තහනමට අනුකූල නොවෙමින් අහඹු අස්වැන්නක් (By-catch) ලෙස අල්ලාගනු ලැබූ කස මෝරුන් ගොඩබෑම සිදුකරනු ලැබූ අවස්ථාවන් අපට වාර්ථා වුණි. මේ පිළිබදව විමසූ විට ඔවුන්ගේ අදහස වූයේ කස මෝරුන් විකිණීමෙන් ලැබෙන අදායමත්, මසුන් ඇල්ලීම සදහා වැය කල අධික වියදම පියවා ගැනීමට තිබෙන අවශ්‍යතාවයත් සැලකීමේදී, එවැනි අවදානමක් ගැනීමට සිදුවන බවය. තවත් වැදගත් සොයාගැනීමක් නම්, නියමයට අනුව ධීවරයන් විසින් අහඹු අස්වැන්නක් ලෙස හසුවන කස මෝරුන් නියමිත ලොග් පොත් වල වාර්ථා කලයුතු වුවද, කිසිදු ධීවරයෙකු කස මෝරුන් හසුවන බව පිළිගැනීමක් හෝ එවැනි වාර්ථා කිරීමක් සිදුනොකරන බවයි. මෙයට ප්‍රධානතම හේතුව වූයේ එවැනි වාර්ථා කිරීම් කලහොත් බලධාරීන් විසින් ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි බොහෝ ධීවරයින් උපකල්පනය කිරීමය. විශේෂයෙන්ම, OFRP ධීවරයින් ඔවුන්ට මුහුණදීමට සිදුවූ අහිතකර බලපෑම් හේතුවෙන් කස මෝර තහනම සදහා වූ සහයෝගය දැක්වීම අඩු වුවත්, IMUL ධීවරයින් හා සැලකීමේදී වැඩි අනුකූලතාවයක් දක්වන බව සොයාගන්නා ලදී.

2012 වසරේදී බලාත්මක කළ කස මෝරුන් ගොඩබෑමේ තහනම පිළිබදව ධීවර ප්‍රජාවගේ මතය අවබෝධ කරගැනීම. 3

මෝරුන් සදහා වන තහනම හදුන්වාදීමේදී එම කර්මාන්තයෙහි නියුතුව සිටින පාර්ශවකරුවන්ගේ (stakeholders) ජීවනෝපායන්ට සිදුවිය හැකි බලපෑම් සැලකීමට ලක් කල යුතුබව මෙම පර්‍යේෂණයෙන් යෝජනා කරනු ලබයි. සුළු පරිමාණ OFRP ධීවරයින් කෙටි කාලයකදී අල්ලා ගනු ලැබූ කස මෝර අස්වැන්න මත දැඩිලෙස විශ්වාසය තැබූ අතර එමගින් ලැබෙන ආදායම වසර පුරා ඔවුන්ගේ ජීවනෝපායන් රැකගැනීමට සහාය විය. තහනම සමග, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය අහිමිවූ අතර, අවසානයේදී ඉහළ පිරිවැයක් දරමින් අඩු වටිනාකමක් ඇති කුඩා මත්ස්‍ය විශේෂ ඉලක්ක කර මසුන් ඇල්ලීම කිරීමට ඔවුන්ට සිදුවිය. අනෙක් අතට IMUL ධීවරයින් කස මෝරුන් කෙරෙහි අඩු විශ්වාසයක් තබා තිබූ බැවින් එය ඔවුනට අඩු සමාජ-ආර්ථික ප්‍රතිවිපාක ඇති කළේය. කෙසේ වෙතත්, මත්ස්‍ය ගහණයට අදාල ප්‍රමාණවත් තොරතුරු නොමැති වීමත් මත්ස්‍ය අස්වනු නිසිලෙස අධීක්ෂණය (Monitor) කිරීමට නොහැකිවීමත්, එමගින් තහනම කෙරෙහි පාර්ශවකරුවන් අතර පවතින අනුකූලතාව නිර්ණය කිරීමට නොහැකි වීම හේතුවෙන් තෝරාගත් පිරිසකට පමණක් තහනම බලාත්මක කිරීම (selective ban) එනම්, වැඩි ප්‍රතිවිපාක අත්විදි OFRP ධීවරයින්හට කස මෝර තහනම අහෝසි කිරීමත්, අඩු ප්‍රතිවිපාක අත්විදි IMUL හට බලාත්මක කිරීමත් සංකීර්ණ කටයුත්තක් වේ. එසේම, IMUL යාත්‍රා වලින් ඉලක්කගත ලෙස හෝ අහඹු අස්වැන්නක් ලෙස මෙසේ අඛණ්ඩව සිදුවන අධීක්ෂණයට ලක් නොවන ගොඩබෑම් මගින් පසක් කෙරෙනුයේ වාර්ෂිකව නොදන්නා කස මෝරුන් ප්‍රමාණයක් අපහට අහිමිව යන බවයි. අහඹු අස්වනු පිළිබද ප්‍රමාණවත් දත්ත නොමැතිව අපට මෙසේ අහිමිවන මෝරුන් ප්‍රමාණය නිර්ණය කල නොහැකිය. තත්වය මෙසේ වුවත්, දැනට බලාත්මක කර ඇති මෙම තහනමෙහි කිසියම් හෝ වෙනසක් සිදු කරන්නේ නම් එම තීරණ ගතයුත්තේ මත්ස්‍ය ගහණය පිළිබද ප්‍රමාණවත් දත්ත මෙන්ම ඒ හා සම්බන්ධ සමාජ-ආර්ථික රදා පැවැත්ම පිළිබදව ශක්තිමත් සහ විශ්වාසදායක දත්ත මත පදනම් වී පමණි. සමස්තයක් වශයෙන්, ප්‍රතිපත්ති හදුන්වාදීමේදී සහ බලාත්මක කිරීමේදී ඒ කෙරෙහි වන මානව ප්‍රතික්‍රියා පුරෝකථනය කිරීමේ සහ කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවසේම මෝර මත්ස්‍ය සම්පත කෙරෙහි රටෙහි පවතින යැපීම පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයත් මෙම තහනමෙන් ලබාගත හැකි ඉතා වැදගත් පාඩම් වේ.

ශ්‍රී ලංකාවෙහි මෝර මත්ස්‍ය කර්මාන්තය හා සබැදි සැපයුම් ජාල සහ ධීවර යාත්‍රා තම මෙහෙයුම් වලදී සිදුකරනු ලබන අවකාශීය චලනයන් සිතියම්ගත කිර්‍රිම යනාදී පිළිතුරු ලබාගතයුතු ඉතා වැදගත් ප්‍රශ්න ඔස්සේ Oceanswell හි පර්‍යේෂණ අඛණ්ඩව සිදුකරනු ඇත

2012 වසරේදී බලාත්මක කළ කස මෝරුන් ගොඩබෑමේ තහනම පිළිබදව ධීවර ප්‍රජාවගේ මතය අවබෝධ කරගැනීම. 4
2012 වසරේදී බලාත්මක කළ කස මෝරුන් ගොඩබෑමේ තහනම පිළිබදව ධීවර ප්‍රජාවගේ මතය අවබෝධ කරගැනීම. 5
2012 වසරේදී බලාත්මක කළ කස මෝරුන් ගොඩබෑමේ තහනම පිළිබදව ධීවර ප්‍රජාවගේ මතය අවබෝධ කරගැනීම. 6

මෙම පර්‍යේෂණය පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට කරුණාකර මෙහි සදහන් සම්පූර්ණ පර්‍යේෂණ පත්‍රිකාව කියවන්න:

Collins, C., Letessier, T., Broderick, A., Wijesundara, I., & Nuno, A. (2020). Using perceptions to examine human responses to blanket bans: The case of the thresher shark landing-ban in Sri Lanka. Marine Policy. https://doi.org/10.1016/j.marpol.2020.104198.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *